දෙහෙනකන්ද හරහා සිරිපා ගමන - Dehenakanda Sripada Trail
"දෙහෙනකන්දෙන් යමු" ... හැමෝම ඒකට එකඟ උනා.
"දැන්මම දිනයක් වෙන් කරගමු." කට්ටියක් එක්ක ගමනක් යන්න අමාරු ඉතින් එක එක්කෙනාට එන්න පුලුවන් දවස් වෙනස් නිසා. ඒක නිසා අපි තීරණය කරා සිරිපා වාරය පටන් ගත්තට පස්සෙ ඒ ලඟම දවසක කරුණා කරන්න.
කාළගුණය එහෙම බලල වහින්නෙ නැති දවස් හොයල හොයල අන්තිමට දෙසැම්බර් 16-17-18 යමු කියල තීරණයකට ආව.
කාළගුණය ගැන අදහසක් ගන්න අපිට www.accuweather.com සහ www.windy.com යන වෙබ් අඩවි උදව් උනා.
දැන් ඉතින් ගමන යන්න ප්ලෑන් කරන්න තියෙන්නෙ. දෙහෙනකන්දෙ ඉන්න තැනක් හොයා ගන්න ඕනෙ. එතකොට තමයි මතක් උනේ ජැක්සන් ඇන්තනි මහතගෙ කළු ගඟ දිගේ වැඩසටහනේ පෙන්නපු Eco Nature Resort - දෙහෙනකන්ද. එහි අයිතිකාර ප්‍රසන්න මහතට කෝල් කරා. මේ ඔහුගෙ විස්තර.
076 670 4488 - ප්‍රසන්න
076 466 7861 - තිවංක
ගූග්ල් මැප් ලොකේෂන් එක : https://goo.gl/maps/wXWjS723YPx41xkDA
පළමු ඇමතුමේ ඉඳලම අපිට උදව් කරපු ඒ අයට ස්තුති කර ගමන්ම, එයාලගෙන් දවස් ගැන කියල කාළගුනේ ගැනත් අහගත්ත.
"දෙසැම්බර් 15න් පස්සෙ වැස්ස අඩු වෙනව. පායන කාලෙ තමයි එන්නෙ. " එහෙම කිව්වම අපිට හිතුන අපි දා ගත්තු දවස් හරි කියල.
ඉතින් දැන් ඉතිරි ටික ප්ලෑන් කරන්න තියෙන්නෙ.
"කූඬැල්ලො ඉන්නව" ප්‍රසන්න එහෙම කියල තිබ්බ. තව ඉතින් හදිසියෙවත් වැස්සොත් ඒකටත් ලෑස්ති වෙන්න ඕනෙ.
දරස් එකේ සහ ඔන්ලයින් හොයල බලල Scan Alpine Camping Store එකෙන් අපි ඔක්කොටම ලීච් සොක්ස් ගත්ත. ජෝඩුව Rs.1350යි. ඊට අමතරව නී ගාර්ඩ් එහෙමත් ගන්න අමතක කරේ නෑ. මොකද ගමන ටිකක් දුෂ්කර නිසා.
ඊට අමතරව යන අතරමඟ ගිමන් නිවා ගන්න කියල තේ එකක් එහෙම බොන්න අදහසක් තියනව. ඉතින් ඒකටත් එක්ක කෑම්පින් ස්ටොව් එකකුයි ගෑස් කෑන් දෙකකුයි ඊට අමතරව ඔක්කොටම හරියන්න ඩිස්පෝසබල් රේන් කෝට් ටිකකුයි ගත්ත. මේ අපි ඒ බඩු ටික ගත්ත ටෙන්ට් මාස්ටර් එකේ විස්තර.
0778622002
ගූග්ල් මැප් - https://goo.gl/maps/MLCGz7u7dfpK9SuPA
දැන් ඉතින් ගෙනියන අනිත් දේවල්. සීතලට අඳින්න වගේම, ගමන සඳහා අවශ්‍යම කරන බඩු ලිස්ට් එකක් හදා ගත්ත. බොටම්, ටී ශර්ට්, ටවල්, මේස්, වින්ට කැප්, ග්ලවුස්, සබන්, ටූත්පේස්ට්, ටූත් බ්‍රෂ් වගේම, පැනඩෝල්, ජීවනී වගේ ඕනෙ කියල හිතෙන අවශ්‍යම දේවල් සමඟ තව ලීටරේ වතුර බෝතලේකුත් ගත්ත. ( මේ ගමන යන්න ඕනෙ අය ඉන්නවනම් කියන්න. ලිස්ට් එක ශෙයා කරන්නම් )
ඔය අතරෙ, Eco Nature Resort - දෙහෙනකන්ද එකට Advance එකක් කරල ඒකත් බුක් කරා. දැන් ඉතින් ගමන යන්න තමයි තියෙන්නෙ.
"බස් එකේ යමු" එහෙම තමයි මුලින්ම කතා උනේ...
"වෑන් එකක යමු. ඒක ලේසි. " යන්න දවස් 4ක් වගේ තියල ඔන්න එක්කෙනෙක්ගෙන් යෝජනා උනා.
16 වෙනිද උදේ කට්ටිය එකතු වෙලා වෑන් එකකම යන්න පිටත් උනා.
රත්නපුරෙන් තව යාලුවෙක් සෙට් වෙනව. ඉතින් උදේ කෑමට අපි රත්නපුරේ නැවැත්තුව. බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සෙ තියන මී මිහිර ( https://goo.gl/maps/kyNwg63rYTzxJUrL7 ) හෝටලෙන් උදේට කාල ආපහු අපි පිටත් උනා. කොහොම හරි උදේ 10 වගේ වෙනකොට අපිට අපේ පළමු දවසෙ නවාතැනට ඒ කියන්නෙ Eco Nature Resort - දෙහෙනකන්ද එකට එන්න පුලුවන් උනා.
උණුසුම් තේ කෝප්පයකින් අපිව පිළිගත්ත තිවංක මල්ලි අපිට නවතින්න කැමති තැනක් තෝරගන්න කීව. ඉතින් අපි ඔක්කොටම හරියන සොල්දරේ තමයි අපේ තේරීම උනේ.
"අද පොඩ්ඩක් නිදහසේ ඉමු. "
අපි එහෙම කතා උනත් පොඩ්ඩක් ඇවිදල රිසෝර්ට් එක පිටිපස්සෙ තියන කන්දකටත් නැග ගත්ත. වටේම පේන හොඳ වීව් පොයින්ට් එකක් තියනව.
රසට උයල තිබුණු කෑම නිසා වැඩිපුරත් එක්ක කාල රෑ වෙලා දාන් අතකුත් ඇදල, කැරම් අතකුත් ගහල කලින්ම නින්දට ගියෙ පහුවදා යන්න තියන ගමන ගැන හිත හිත.
පහුවදා උදේ පාන්දර 3.30 වගේ කට්ටිය ඔක්කොම නැගිටගෙන 5 වෙනකොට ලෑස්ති වෙලා ඉවරයි.
උදේට උණුවෙන් කෑම ටිකක් කාල ඉවර වෙනකොටම තව 10ට විතර කන්න රොටී පාර්සලේකුයි, දවල්ට කන්න බත් පාර්සලේකුයි ගානෙ අපි කතා වෙච්ච විදියටම ලෑස්ති කරල අරගෙන ආවෙ ප්‍රසන්න. තව දෙයක් කියන්න අමතක උනා... අපි මුලින් කතා කරපු දවසෙ ඇහුව අපිට තනියම පාර හොයාගෙන යන්න පුලුවන් වෙයිද කියල.
"බැරිකමකුත් නෑ. ඒත් පාර පෙන්නන්න දෙන්නෙක් එක්කන් ගියොත් හොඳයි. " ප්‍රසන්න එහෙම කියපු නිසාත් අපේ ගමනට ලේසියක් වෙන නිසාත් අපි දෙන්නෙක් ලෑස්ති කරල තියන්න කියල කලින්ම කියල තිබ්බ.
දැන් ඉතින් ආපහු ගමන පටන් ගන්න තැනට එමු. කෑම කෑවට පස්සෙ ඔක්කොම එකතු වෙලා පන්සිල් කරන් ගමන පිටත් වෙන්න ලෑස්ති උනා. ප්‍රසන්න එයාගෙ වෑන් එකෙන් අපිව එක්කන් ගියේ ගමනෙ ස්ටාටින් පොයින්ට් එකට.
එතනදි නැවතත් බුදුන් වැඳල ( එතන තියනව කුඩා බුදු කුටියක් ) ඉවර වෙනකොට ප්‍රසන්න ලෑස්ති කරගෙන ඇවිත් තිබ්බ පඬුරු හැමකෙනාගෙම අතේ ගැට ගහල සමන් දෙවියන්ට පිං අනුමෝදන් කරල අපිත් එක්ක ආව රත් ගඟ ලඟට එනකන්. එතනින් කට්ටිය එගොඩ කරවල තමයි ප්‍රසන්න අපිට සමු දුන්නෙ.
දැන් ඉතින් ගමන පටන් ගත්ත. ඉස්සෙල්ලම යනව අපිට මඟ පෙන්නන කෙනා.. එයාට පිටිපස්සෙන් අපෙ කට්ටිය ... පස්සෙම එන්නෙ අපෙ මඟ පෙන්වන්න ආපු අනිත් එක්කෙනා. සාමාන්‍යයෙන් මඟ කියා දෙන කට්ටිය එන්නෙ දෙන්නෙක් විදියට. එක්කෙනෙක් එන්නෙ නෑ. එයාල ආපහු එන්න ඕනෙ තනියම නිසා හැමවෙලේම එන්නෙ දෙන්නෙක්.
පටන් ගත්ත ගමන්ම ඉතින් ටික ටික කන්ද. පාර ටිකක් විතර සුද්ද කරල තියනව.
"රා මදින්න යන අය පාර සුද්ද කරනව" එහෙම තමා අපිට කිව්වෙ.
හෙමින් හෙමින් ඉතින් අපි ඉස්සරහට යනව. ලීච් සොක්ස් දාල සපත්තු දාල වතුර බෝතලේකුත් පුරවගෙන, තව අනිත් බඩුත් එක්ක බෑග් එකත් කිලෝ 7ක් 8ක් බර ඇති. ටික ටික කට්ටියට මහන්සි දැනෙන්න පටන් අරන්. පටන් අරගෙන ඉස්සරහට එද්දි ටික ටික කන්ද.
"කඳු 2ක් නැඟල බැහැල තුන්වෙනි කන්ද තමා සිරීපාදෙ" අපිට එහෙම කියල දුන්නෙ ප්‍රසන්න.
කවුරුත් කතා නෑ. හෙමින් හෙමින් ඉස්සරහට ඇදෙනව.
වේවැල් දොල පහු කරගෙන යන ගමන් ටොෆියක් එහෙම කාල හෙමින් හෙමින් යන ගමන්, පුරුද්දට වගේ නැමිල බලන්නෙ කූඬැල්ලො ඉන්නවද කියල. දවස් දෙක තුනක් පායල නිසා කූඬැල්ලො අඩුයි.
ඊලඟට ඉතින් වැල්ලක්කාර ගල්ගේ.. එතන ටිකක් ගිමන් හැරල වතුර ටිකක් එහෙම බීල ආයෙමත් පිටත් උනා.
හෙමින් හෙමින් ඇවිදගෙන ඇවිත් අපි ලං උනේ පහල රාම කල්ලු ගල්ගුහාවට. ඇතුලට යන්න ටිකක් විතර බය හිතෙනව. කළුවර නිසා.
ඉතින් ඒකත් බලල දැන් ටික ටික ඉහලට ඇදෙනව. මහන්සියි. ඒත් නවතින්න බෑ. අපේ ඉලක්කයට යන්න ඕනෙ.
"තව ටිකක් ගියාම ටිකක් නැවතිලා යන්න පුලුවන්..." එහෙම කීවෙ අපේ පාර පෙන්නන මල්ලි. කට්ටියට පොඩි සතුටක්..
ටිකක් ලොකු කන්දක් නැගගෙන ඇවිත් ඉහල රාම ගල්ගේ නැවතිලා ගෙනාපු රටඉඳි වලින් ටිකකුත් කාල පොඩි විවේකයක් අරගෙන ආපහු පිටත් උනා. තව දෙයක් කියන්න ඕනෙ, මෙතෙන්ට ෆෝන් සිග්නල් තියනව. හදිසි කෝල් එකක් එහෙම ගන්න පුලුවන්.
කොහොමින් කොහොමින් හරි, අමාරුවෙන් හරි ඇවිත් අපිට ඊලඟට හමු උනේ බෝටි දොල. එතනට එනකොට වෙලාව උදේ 10 පහු වෙලා. කට්ටියටම ටිකක් මහන්සි. ඉතින් අපි ගෙනාපු රොටී කාල තේ එකක් හදාගෙන බීල යන්න තීරණය කරා. එක්කෙනාට රොටී දෙක ගානෙ හදල දුන්නත්, ප්‍රමාණයෙන් ලොකු නිසා අපිට කන්න පුලුවන් උනේ එක රොටියක් විතරයි. තව දෙයක්. අපි හදාගෙන ආව අග්ගල. ඉතින් තේ එකකුත් හදාගෙන රොටියක් කාල අග්ගල එකක් එක්ක තේ එක බීල ටිකක් ගිමන් නිවල නැවතත් ගමන් ආරම්භ කරා.
කට්ටියම එක පෙළට යනව. දැන්නම් වතුරත් සීතල වෙලා. තිබහ තිබ්බත් බොන්න ටිකක් අමාරුයි. උගුරු දෙකක් බොනකොට එපා වෙනව. කොහොම හරි ඊ ලඟට අපි ආවෙ ලස්සන දොලක් ලඟට. අරගෙන ආව ජීවනී පැකට් හදාගත්තෙ වතුර බොන්න අමාරු නිසා. කවුරුත් කැමත්තෙන් ජීවනී එක බිව්ව. ඉතින් දැන් ආපහු පණ පොඩ්ඩක් ආව. ආයෙත් ගමන පිටත් උනා.
මෙහෙම ඇවිදගෙන එනකොට අපිට පළවෙනි වතාවට සිරිපා කන්ද පේන්න ගත්ත.
ඒත් එක්කම ටික වෙලාවක් යනකොට අපි ආවෙ පැරඩයිස් දිය ඇල්ල ලඟට. ඒ වෙනකොට වෙලාව හවස 3ට විතර ඇති.
"ටිකක් බඩගිනි. " කට්ටිය පොඩ්ඩක් ගිමන් ඇරල ගෙනාපු බත් එකත් කාල තේ එකක් එහෙමත් බීල නැවතත් ගමන පටන් ගත්ත.
ඒ පාර නම් කන්ද ටිකක් වැඩි. වැස්සක් එන්නත් වගේ. මොන දේත් බලාපොරොත්තුවෙන් අපි හෙමින් හෙමින් ඉදිරියට පියමං කරා.
දැන් ටික ටික ගස් වල උස අඩු වෙලා සීතල ගතිය වැඩි වෙලා සිරිපා කන්දේ බලාපොරොත්තුව බබලන්න පටන් ගන්නව.
ඔහොම කඳු නැගගෙන බැහගෙන ඇවිත් අපිට අන්තිමට හම්බෙන දොල පාර සෙට් උනා. ඒක තමයි අග්ගලා දොල. මේ දොලෙන් පස්සෙ ආයෙ ඇහැල කනුවට යනකන් වතුර පාරක් හම්බෙන්නෙ නෑ. ඒක නිසා බෝතල් වලට වතුර පුරෝගෙන යන්න. ඉතින් එතනින් පොඩි විවේකයක් අරගෙන ඉදිරියට ඇදෙනකොට වෙලාව හවස 5 පහු වෙලා. ටික ටික අඳුරු වැටෙන්න ලඟයි වගේ.
දැන්නම් කන්ද හොඳටම. කට්ටියටම ටිකක් අමාරු උනත් කවුරුත් මොකුත් කියන්නෙ නෑ. කකුල උස්සල ගන්නකොට තල්ලෙ වදින තරමට කන්ද. සමහර තැන් වලින් නැග ගත්තෙ අත් දෙකත් බිම තියල බඩ ගාගෙන. කළුවරත් වැටුන. ගෙනාපු ටෝච් එක එලියට අරගත්තට යන පාර හොයා ගන්න ටිකක් අමාරුයි. ඉතින් අපේ පාර පෙන්නනන මල්ලි ඉස්සරහින් යන නිසා අවුලක් නෑ. ටිකක් යනව ටිකක් ඉන්නව. එහෙම තමයි ගමන. දැන් අපි නඟින්නෙ මහගිරි දඹේ වෙන්න ඕනෙ. ආනතිය ගොඩක් වැඩි. කකුල ගන්නකොට නිකටෙ වැදෙනව. සමහර තැන් වල අත් දෙකෙනුත් අල්ලගෙන ගොඩ වෙන්න තියෙන්නෙ. අනිත් දේ තමයි පාර දෙපැත්තෙ තියන කුඩා පඳුරු අල්ලගනිද්දි පරෙසසමෙන්. ඒව ගැලවෙනව. ලොකු ගස් නෑනෙ. ඒ වගේම ටිකක් ලිස්සනව. වැටෙන්න තියන ඉඩ වැඩි. එහෙම බැරිවෙලාවත් වැටුනොත් භයානක හෙලකට වැටෙන්නෙ. ඒක නිසා හරිම පරෙස්සමින් එන්න ඕනෙ තැනක්.
ඔන්න පොඩිවට ලයිට් එලි පේන්න ගත්ත. "සමන් දෙවි පිහිටයි"
දැන් ඉතින් ටික ටික වතුර පොම්පෙ සද්දෙත් ඇහෙනව. ඒ කියන්නෙ මේ පාර රත්නපුරේ පාරට එකතු වෙන්නෙ උඩ මලුවට වතුර පොම්ප කරන පොම්පාගාරය ලඟට.
කට්ටියම එකතු වෙලා ඔන්න අපි ආව ඇහැළ කනුව ලඟට. රත්නපුර පාරෙ. වෙලාව රෑ 8ට විතර ඇති.
එතන ටිකක් වෙලා ගිමහ් ඇරල අපි ආව අන්තිම කඩේට.
එතනින් උඩ මලුවට.
සාදු සාදු සාදු...
මෙදා සැරේ, අපි ඔක්කොම කරදරයකින් තොරව, දෙහෙනකන්ද පැත්තෙන් සිරිපා කරුණා කරා.
වෙනදට වඩා වෙනස්ම අත්දැකීමක්. ටිකක් දුෂ්කර උනාට හරිම සුන්දර ගමනක්.
විශේෂ ස්තුතිය අපිට හැමදේටම උදව් කරපු Eco Nature Resort - දෙහෙනකන්ද අධිපති තුමාට.. ප්‍රසන්නට.
ඉතින් උඩමලුවෙ ටිකක් ගිමන් හැරල පාන්දර 4ට විතර අපි හැටන් පාරෙන් පහලට කරුණා කරා.
නල්ලතන්නියෙන් උදේට කෑම කාල කතා කරගත්තු වෑන් එකකින් ( සිරීපාද ටැක්සි 071 282 0468 ) ආපහු ගෙදර ආව.
මේ තමයි අපෙ නඩේ ගුරා...
වීඩියෝ එක
මෙහෙම තමා අපි ප්ලෑන් කරේ...
ඕනෙ කෙනෙක් ඉන්නවනම් කියන්න විස්තර දෙන්නම්...





















%20Facebook.png)
%20Facebook.png)










%20Facebook.png)

%20WhatsApp.png)
%20WhatsApp.png)
%20Facebook.png)
%20Facebook.png)














%20Facebook.png)









Comments
Post a Comment